![]() |
අපි එකම ජාතියක් අපේ බලේ සමගි බලේ...... |
මතුගම - බේරුවල සිංහල මුස්ලිම් ගැටුම් මොහොතකින් මතුවූයේ කෙසේද? එය විය හැකි දෙයක්ද? හිමි නමකගේ රියදුරු හා ඇති වූ බහින්බස් වීමකින් පසු ජාතික ආගමික කැක්කුමක් මෙතරම් ඉක්මනට මෝදු වූයේ කෙසේද?
අවිහිංසාව, දයාව, කරුණාව, මෛත්‍රිය පදනම වූ නිර්මල බුද්ධ දර්ශනය නිර්ලජ්ජිතව කෙළෙසා දමමින් අපි නියම සිංහලයෝ අපේ ආගම වනසන්නට දෙන්න බැහැයි කියමින් පාරම්බාන්නේ කෙසේද?
බුද්ධපත්රයන් පොලු මුගුරු දෑත දරාගෙන නිරායුධ පුද්ගලයින්ගේ පසුපස හඹා යන අයුරු දැක නිහඩව සිටීමට තරම් සිංහලකම උදාසීන වූයෙක් කෙසේදැයි නොවැටහේ. ඉතාම භයංකර තත්වය නම් මේ සියල්ල දැක නිහඩව සිටින මහජන නියෝජිතයන් හා රටේ නායකයාගේ අවසාන ඉලක්කය නම් දකුණේ නැවැත කැරැල්ලක් මතුකොට තම අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට තැත් කිරීම නොවේද? උතුරේ යුද ජයග්‍රහණය (මෙය ජය නොව ජාතියක් වශයෙන් අත්ත පරාජයකි) වරින් වර උපුටා දක්වමින් තම බලයත් රටේ ආර්ථික රිසි පරිදි හසුරැවමින් සියලු සම්පත් කොල්ල කෑමට අවසර ලබාගත් වුන් නැවත එයටම සැරසෙන බව මෝඩ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට නොපෙනීම අවාසනාවන්ත තත්වයකි.
තම දරුවකුට කිරිපිටි පැකට්ටුවක් අරන් දිය නොහැකි, නිසි පරිදි සුදුසු පාසලකට ඇතුළත් කරගැනීමට නොහැකි, ලෙඩකට බෙහෙතක් නැති රෝහල් ප්‍රශ්න කොතෙකුත් තිබියදී ජාතියත් ආගමත් පෙරදැරි කරගෙන රටේම ආර්ථික අහේනිය ඒ අස්සේ සැගවීමට වෙර දරන කූට උපක්‍රම වලට නොරැවටී තමා අවට සිදුවන දේ නිසි ලෙස පියවි ඇසින් බලා තත්වය අවබෝධ නොකරගතහොත් අමාරුවේ වැටෙන්නේ ඔබ අප ම මිස නායකයින් නොවේ. නීතිය වල් වැදී නායකයන් සියලු ප්‍රශ්න හමුනේ නිදි වැදී සිටින මොහොතක අහිමි වන්නේ ඔබෙත් මගේ අයිතිය විනා වෙන කිසිවක් නොවේ. එදා උතුරේ ජන ජීවිතය සහමුලින්ම යටපත් කර විනාශ කර දැමූ විට නිහව සිටි දකුණේ ජනයා, අද දකුණේ මුස්ලිම් ජනයාට පහර දෙමින් විනාශ කරන අයුරුත් බලා සිටින්නේ උතුරට වූ විපත, මුස්ලිම්ට වූ විපත අපට සිදුවන්නේ නෑ. අපි සිංහල, අපි බෞද්ධ යන ආඩම්බරකාර හැගීමෙන් නම්, එකී මිථ්‍යාවෙන් මිදී පියවි සිහියෙන් සිහිබුද්ධියෙන් මෙම කාරණා ගැන විගුහ නොකරගන්නේ නම් හෙට දවසේ ඔබත් අපත් රාජ්‍ය විරෝධීන් හෝ ත්රස්තවාදීන් යැයි හංවඩු ගසා විනාශ කර දැමීමට රටේ නායකයාට හෝ පාලකයාට අවසර දී තිබෙන්නේ ඔබ අප විසින්ම බව සිහි තබා ගත යුතුය.
එසේ හෙයින් ජාතිය ආගම පෙරදැරි කරගනිමින් පාලකයන් ගෙන යන ව්‍යාජ න්‍යාය පත්රයන්ට යට නොවී සියලු මිනිසුන් මිනිසුන් බව තහවුරු කෙරෙන අයිතිවාසිකම් කෙළෙසා දමන වුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරමින් හඩක් නැගීමට සියලු ජාතීන් පෙළ නොගැසුණහොත් හෙට දවසේ ඔබෙත් අපේත් ජිවීත පමණක් නොව හෙට උපරිදන දරුවාට ද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ.
සියලු මිනිසුනේ නැගිටිව් ජාතිය වෙනුවෙන් නොව යුක්තිය වෙනුවෙන් !!
සියලු මිනිසුනේ නැගිටිව් ආගම වෙනුවෙන් නොව හිංසාවට එරෙවීම වෙනුවෙන් !!
No comments:
Post a Comment